Saturday, June 30, 2012

මුලු ජිවිතේම හිස් වෙලා වගේ..




කොතනින් කොහොම පටන් ගන්නද ලියන්න.
මොනවා ලියන්නද තවත්..
ජිවිත කාලයම ජුනි මාසෙ 30 කියන්නෙ 
මගේ ජිවිතේ අවාසනාවන්තම දවසක් වෙයි.
අම්මා අපිව/මාව දාලා ගියා කොහොම හිතාගන්නද?
අද වෙනකොට ලිපි 49ක් ලියලා තියනවා.
ඒත් 50 වෙනි ලිපිය ලියන්නෙ අම්මා නැති වෙලා 
මාස එකහමාරක් ගතවුනාට පස්සෙ..
අම්මා අපිව දාල ගියා කියලා ලියන්න වුන එක 
කොච්චර අවාසනාවන්තද?

මුලු ජිවිතේම හිස් වෙලා වගේ..
අම්මව ජිවත් කරන්න ගත්ත හැම උත්සහයක්ම වතුර ගියා 
කියලා මතක් වෙන කොට..
මගේ අම්මා නැතිවෙන වෙලාවෙ මට ලගට වෙලා ඉන්න 
බැරි උනා කියලා හිතනකොට..
තාමත් අම්මාගෙ කටහඩ කන ලගින් ඇහෙනවා වගේ..
කොළඹ ජයරත්න මල්ශාලාවෙ එක දවසින් අම්මා කලින් කියපු විදියට
අවසන් කටයුතු කලත්
අම්මා ලගදිම දවසක මාව දාලා යනවා කියලා කලින් දැනගෙන 
හිටියත් මම හිතුවෙ නැ අම්මාට මෙහෙම වෙයි කියලා.

අවසාන දවස් එකහමාර සිහිනැතිව හිටිය එක හැරුනම 
අම්මා ගොඩාක් විදෙව්වෙ නැ කියලයි හැමොම කියන්නෙ
අම්මා හොද තැනක උපත ලබා ඇති කියලා හිතනවා..
උපනුපන් ජාතිවත් මේවගේ අකල් මරනයක් මගේ අම්මට 
වෙන්න එපා..


..මට මෙහෙම දුකක් දැනෙනවානම්
තාත්තා කොහොමද මේ දුක දරාගන්නෙ.
මතක් කරන මතක් කරන හැම තප්පරයකම 
කියාගන්න බැරි පාලුවක් හිතට දැනෙනවා..
කවදා කොහොම මේ අඩුව සම්පුර්න වෙන්නද?

අම්මගේ අහිමි වීම හරියට හීනයක් වගේ..
ඔව් ඇත්තටම හිනයක් උනානම්..
කොයිතරම් දුක උනත් ඇහැ ඇරෙන කොට ඒක හීනයක් 
විතරමයි. ඒත් මගේ අම්මා මම ලග නෑ කියන එක 
හීනයක් නෙවෙයි හැබෑවක් කියලා දැනෙන කොට
මුලු ජිවිතේම එපා වෙනවා..
ඒත් එහෙම හිතන්න මට අයිතියක් නෑ..
මට මොනවා හරි උනොත් තාත්තා තවත් අසරන වෙනවා.
ජිවිතේ අවසන් තප්පරයත් තාත්තව සතුටින් තියන්න උත්සහ කරනවා.
අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ..

ලිවුවෙ - අගෝස්තු 15 

Monday, June 25, 2012

හරිම පාලුවක් දැනුනා...


ඊයෙ මම කැකිරාවෙ ගියා..
පාන්දර වුනා යනකොට. වෙනදා මම ගෙදර එනවා කියලා කිව්වම
අම්මා රොටි හදාගෙන රෑ පිරිත් කිය කිය මම එනකල් ඇහැරලා ඉන්නවා.
මම ගේට්ටුව අරින සද්දෙට අම්මා දොර ඇරගෙන එනවා..
පුතා මුණහෝදගෙන එන්න මම විනාඩියට තේ හදන්නම්
කියලා තේ හදන්න යනවා..
ඊයෙ ඒ මුකුත් නෑ.. හරිම පාලුවක් දැනුනා.
ගෙදරම පාලු වෙලා...
අද උදේ එනකොටත් අම්ම ගෙදර නැති අඩුව දැනුනා හොදටම.
මම අම්මට වැදලා කොළඹ එන්න පිටත් වෙනකොට
ගේට්ටුව ලගටම ඇවිත් මම නොපෙනී යනකල් 
රත්නමාලි ගාථාව කිය කිය මගට 
වෙලා බලාගෙන ඉන්නවා.
අද ඒ මුකුත් නෑ...
3-4 සැරයක්ම එනකොට හැරිලා බැලුවා 
පුරුද්දට වගේ.. 

Sunday, June 24, 2012

අම්මගේ එක ඇහක කදුලු..

අද උදේ බලන කොට අම්මගේ එක ඇහක කදුලු..
දිගටම එනවා. නවතින්නේ නෑ..
මම ඇහුව අම්ම අඩනවද? කියලා නෑ නෑ මම අඩන්නැ
කියලා හිනාවෙනවා..එත්
කොන්දත් රිදෙනවාලු ගොඩාක්.
පුතා පුලුවන්නම් විතරක් මාව පොඩ්ඩක් දකු‍ණුපැත්තට
හරවනවාද කියල ඇහුව.
මම හිමිට දකුනට හරවලා විනාඩි 2න් ආයෙත් තිබුන විදිහටම ඉමුද
කියලා අම්මාම අහනවා.




කීප සැරයක්ම එහෙම කරලා..හිටියා..
ඒත් අම්මට අඩුවක් නෑ..
"කමක් නෑ පුතා යන්න. ඔයාටත් කරදරේ. වැඩට යන්න පරක්කුවෙයි.
ඔයාව පේන්න ඉන්නකොට තමයි
එ‍හෙට මෙහෙට හරවන්න කියන්න හිතෙන්නෙ.."
අම්මා වේදනාව අතරින් හිනාවෙවි කිව්වා.




දැන් අම්මගේ කකුල් දෙක තනියම පොඩ්ඩක්වත්
එහාට කරගන්න බෑ තනිවම. දකුණු අත වැලමිට ලග
පහල අස්ථියේ ගැටයක් වගේ තියනවා.
කලින් කකුල කැඩෙන්න කලිනුත් එහෙම තිබුනා.
වම් අතේ මැණික් කටුව ලගිනුත් එහෙම තියනවා.
අත් දෙකත් අම්මට නැතිව ගියොත්
කොහොමද අම්ම හිත හදාගන්නෙ..‍
අපි කොහොමද අම්මව හරවන්නෙවත්..
කැඩුන අත් එක්ක...
දැන් එන්න එන්නම වැඩියි අම්ම ඉක්මනින්
දුර්වල වෙනවා වගේ..
කෑම කන්නෙ කුරුල්ලෙක් තරමට.


හවස ඩොක්ටර් ඩිහාන් හම්බවෙන්න ගියා.


ආයෙ එන්න එපා කිව්වත් අම්මා ඇද උඩ එහෙම විදවනවා ‍
බලාගෙන ඉන්න පුලුවන් කාටද?
ඩොක්ටර්ට කිව්වම එයා කිව්වා


"නවතින්නෙ නැතිව ඇස්වලින් කදුලු එනවා කියන්නෙ කදුලු එන ග්‍රන්ථි දක්වාම පිළිකා සෛල
උඩට ඇවිල්ලා. බෙහෙත්වලින් නවත්වන්න බෑ කදුලු එන එක.
දරුවො තාත්තටත් පපුවෙ අමාරුවක් තියනවා නේද ඉතින්
කොහොමද දවල් තාත්තව අම්ම ලග ඉන්නෙ. ගොඩාක් අමාරු ලෙඩෙක්
නිසා ගෙදර නතර කරගන්න එපා දැන්. මහරගම පෞද්ගලික රෝහලක් තියනවා
එතන ඉන්නෙ බෙහත් නොකරන පිළිකා ලෙඩ්ඩු.


ගිහින් එයාලට කියන්න අම්මට පිළිකාවක් කියලා දැනගන්න තියන්න එපා කියලා.
 එතනට ගිහින් ඇරලවන්න.
ඔයාලට නිතර බලන්න පුලුවන්. නතර වෙලා ඉන්නත් පුලුවන්.
හැමදේම එයාල කරාවි. කියලා. ඒත් කොහොමද අම්මව එහෙම තැනකට
‍එක්ක යන්නෙ..එහෙම කරන්න හිත හදාගන්න බෑ..කියලා ඩොක්ටර්ට කිව්වම එයා
කියනවා. මම දන්නවා. එත් ‍අම්ම කෙනෙක්ගෙ අවසාන මොහොත දරුවෙකුට
දරාගන්න බැ. වි‍ශේෂයෙන් ස්වාමියට. ඉතින් ආයෙ සැරයක් හිතල බලන්න කියලා
වේදනා නාශක විතරක් දුන්නා.




මම මේච්චර කල් කල දේවල් ගගට කැපුව ඉනි වගේ වෙයිද?


අනේ මගේ අම්මා..




අම්මට දැනෙන වේදනාව අම්මට නොදැනි
මට ගන්න පුලුවන්නම්..
අඩු තරමින් ‍කොටසක් හරි...



Saturday, June 23, 2012

රත්තරනුයි මුතුයි

අද තාත්තත් එක්ක කොටුවට ඇවිත් කලින් වරකා පොලොස් කැද
දෙන්න කියලා කිව්ව වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා.
හොදටම නැති උනත් ටිකාක් හරි ගුනයක් තියනවා කියලා තාත්ත
නම් කියනවා.
තාත්තා ඩොකටර් ගෙන් අහනවා. අපිට කල් ගියත් කොහොම හරි සනිප කරගන්න
පුලුවන් නම් ඒ ඇති කියලා.


තාත්තා වචන පිටකරන්නේ ඉකි ගගහ වගේ..


ඩොක්ටර් කියලා මොනවා කරන්නද තාත්තෙ.
තාත්තගෙ හිතේ තියන දුක මේ ලෝකෙ ගහක් ගලකට උනත් දැනෙන තරම්.
ඒත් මේක අම්මා මේ ආත්මයේ කරපු පවකට නෙවි. ගිය ආත්මයේ කරපු පාප කර්මයක්
වෙන්න ඇති. අපි දැනුවත්ව අම්මා කාටවත් වෛර කරපු කෙනෙක්වත් ඊරිසියා කරපු කෙනෙක්වත්
නෙවි. රහසින්වත් පවි කරලා නැතිව ඇති. ඒත් අම්මාටම මෙහෙම උනානේ..




මේ බෙහතට රත්තරනුයි මුතුයි කවලම් කරලලු
තියෙන්නේ. ටිකාක් ගනන්. ඒත් මෙහෙම හරි සනීප
වෙනවානම් කීයක් ගියත් කමක් නෑ.


මේ ලෝකේ පුතෙකුට අම්මා කෙනෙකුගේ සෙනෙහස
ආදරය තරම් වටිනා දෙයක් නෑ කියලා කොහොම වචන
වලින් කියන්නද?


කිසිම දවසක කිසිම අම්මා කෙනෙකුට මාගේ
අතින් වරදක් වෙන්න එපා.
හිත රිදවීමක් වෙන්න එපා.


බෙහත් එක අරන් තාත්තා ගෙදර ගියා.
මම වැඩට ගියා..
හෙටම ඉදන් දෙන්න පටන් ගන්න ඕන..

Saturday, June 16, 2012

පත්තිනි දේවාලය..


ඊයේ අම්මා උදෙන්ම ඇහැරිලා හීනෙන්වගේ කිව්වා අපි හැමොටම එන්න කියලා.
අපි ගියාම මට කිව්වා අනුරාධපුර යාපනේ හන්දියේ පත්තිනි දේවාලයක් ඇති රතු මල් 
තියන. එතනට ගිහින් එන්න කියලා. හරියට තැනක් නොදැන උනත් මම යනවා කියලා 
හිතාගත්ත. අම්මා දන්නවා මම දේවාල වලට යන්නෙ නෑ කියලා. අනික කලින් දවසේ 
නංගිගේ වෙඩින් එක ඉවර උනා විතරයිනේ මහන්සියි මට හොදටම. ඒත් අම්මා කිව්වනේ..
අම්මගේ හිත සතුටින් තියන්න පුතෙකුට මොනවද කරන්න බැරි...
මම උදෙන්ම අනුරාධ පුර ගියා අචලත් එක්ක. පව් ඌත් මාත් එක්ක යන්න ආවා.
අපි යාපනේ හන්දියෙන් බැහැලා පත්තිනි දේවාලයක් අහගෙන ගියා. අම්මා කිව්වා වගේ 
එතන දොරකඩ රතු මල් පිපිලත් තිබුනා. අපි යනකොට 6යි වෙලාව. එතන වැඩ ඉවරයි කියලා 
ඒ වැඩ කරන ගෑනුකෙනා කිව්වා. ඒත් අපි ආපු කාරනේ කිව්ම දුර ඉදන් ආපු නිසා කරන්නම් කියලා 
කිව්වා.එයා අම්මා එක්ක ෆෝන් එකෙන් කතා කලා. අම්මා කියනවා මාව නැගිට්ටවන්න උදව් කරන්න කියලා.


පත්තිනි සලඹ සොලව සොලව මොනවාදෝ සිංහලට හුරු දෙමල වගේ භාෂාවකින් ආවේශ වෙලා 
කතා කලා. අම්මටයි පවුලේ හැමෝටමයි නෑදැකෙනෙක් නොවන කෙනෙක් හුනියමක් කරලලු. 
ඒක නිසාලු අම්මට මෙහෙම උනේ. බේරගන්න අමාරුයි කිව්වා. අම්මට හුනියම වැදිලා අනික් අය බේරිලාලු.
තව ගොඩාක් දේවල් කිව්වා. ඒ තනින් එනකොට රෑ 10යි. පිදේනියක් දෙන්න ඕනලු. පිරිත් වතුර වගයකුයි
නූල්වගයකුයි දුන්නා අම්මගෙ බදින්න.   මෛත්‍රි භාවනාව කරන්නලු. ඒකනම් අම්මා කොහොමත් කරනවානේ.




මගේ නම් විශ්වාසයක් නෑ මේවා ගැන. ඒත් අම්මා කිව්ව නිසා ගිහින් ආවා..
අද උදේ පාන්දර තමයි ආවේ. ගිහින් දේවාලේ විස්තර ටිකාක් විතරක් අම්මට කිව්වා.
අම්මා සේරම අහන් ඉදලා කියනවා. "පවු පුතා මහන්සි බලන්නෙ නැතිව මම හින්දා 
අනුරාධ පුරත් ගියානේ. දැන් නිදාගන්න.."


පිරිත් නූල් අම්මගේ බැන්දා..
දවල් මෛත්‍රි භාවනාව දාලා දුන්නා අහන්න. ඒක අහගෙනම නින්ද ගිහින් අම්මට..



අනේ මගේ අම්මාව සුවපත්වෙනවා නම්...!
අම්මා ඇදට වෙලා විදින දුක කොහොම දරා ගන්නද? .....



Thursday, June 14, 2012

නංගිගේ වෙඩින් එක..




එදා උදේ නංගිව අන්දන්න අක්ක 

ගෙදරින් ගියා 02.01ට අම්මා නැගිටලා හිටියේ.
අන්තිමේටම තමයි මම ගියේ උදේ වෙලා.
අම්මගේ ඇස්වල කදුලු තිබුනත් ඒවා 
අපෙන් හංගගෙන ඉන්න අම්මට පුලුවන් උනා.
"පුතා හැම දෙයක්ම කලබලයක් නැතිව හොදින් කරන්න.
නංගි එනවා කිව්වා හවසට. බුදු සරණයි ගිහින් එන්න."
අම්මා එහෙම කිව්වට හිත ගොඩාක් දුකින් උනත් 
නංගිගෙ වෙඩින් එක පුරාම අපි හැමොටම අම්ම නැති අඩුව 
දැනුන. කැකිරාවෙන් ආපු අය සේරම අම්මා ඒයි කියලා
හිතලා තියෙන්නේ.
කව්ද ඉතින් හිතුවේ..
අපි හැමෝම හිතුවෙ අම්මට එන්න පුලුවන් වෙයි කියලනේ..
ඒකට අපි හැමෝගෙම දුක් උනා.. ආවනම් අම්මට දුක වැඩිවෙයි.
එක අතකින් ආපු නැති එකත් හොදයි කියලා හිතුනා.




කමක් නෑ. අම්මා ආවනම් ගොඩාක් සතුටු හිතෙන්න තිබුනා 
එදා. ඒත් ගොඩාක් දුක හිතෙන්නත් තිබුනා නංගියාගේ වෙඩින් එක 
දවසේවත් මට නැගිටලා ඉන්න බැරි උනා කියලා.



නංගිගේ වෙඩින් එක හොදට ලස්සනට පිලිවෙලට තිබුනා..
අඩු අම්මයි නදීශ නංගිගෙ ගෙදර අයයි විතරයි.
නංගි ලස්සනයි ගොඩාක්.ලංකා අයියත්.
 උදේ ඇදුමටත් වඩා දෙන්නම 
ලස්සනයි රතු ඇදුමට.. 


අම්මගේ අසනීපයත් එක්ක මෙච්චර හොදට වෙඩින් එක 
කරාවි කියලා ගොඩක් නෑදෑයො හිතන්න නැතිව ඇති.
ඒත කලින් ඉදන් සැලසුම් කල නිසායි 
අපිටත් වඩා නංගියි ලංකා අයියයි මහන්සි උන නිසයි
හිතුවටත් වඩා ලස්සනට කෙරුනා..


ඉන්දික අයිය මට මස්සිනා කෙනෙක්ට වඩා සහෝදරයෙක්
කියලයි හැමතිස්සෙම හිතෙන්නෙ..
ලංකා අයියටත් එහෙම ගතිගුන තියනවා කියලා දැනෙනවා..


සල්ලි නිලතල යානවාහන පස්සෙ යන  තමන් අනිකාට වඩා 
ඉදිරියෙන් ඉන්න හදන මිනිස්සුන්ට වඩා
මනුස්කම් දන්න පවුල් දෙකක් එකතු කරගන්න ලැබීම ගැන
අපි හැමෝටම සතුටුයි..




හවස නංගි වෙඩින් එක වෙලාවෙ පිටත් උන රතු ඇදුමින්ම ගෙදර ඇවිත් ‍ගොඩාක් වෙලා
අම්මත්එක්ක කතා කරලා ගියා. ඒකට නම් අම්මට හරිම සතුටුයි... 
ලංකා අයියාත් අම්මා එක්ක හරිම ආදරෙන් ඉන්න නිසා අම්මට දුකක් නෑ.
අම්මා කොහොමත් "ලංකා පුතා හරි හොදයි. මනුස්සකම් දන්න දරුවෙක්."
කියලා කීප සැරයක්ම මගෙත් එක්ක කිව්වා.ඒ නිසාම අම්මා හිත හදාගන්නවා ඇති.



Wednesday, June 13, 2012

හෙට නංගිගේ වෙඩින් එක..


හෙට නංගිගේ වෙඩින් එක..
කේක් නම් ඉවර කරගත්ත යාන්තම්.
අෂ්ටක කියන අයට/බෑන්ඩ් එකට/හෝටලයට ඉතිරි/රෙජිස්ට්‍රාර්ට/
ජයමංගල කියන අයට/අන්දන කෙනාට/ ෆොටෝ වලට/ වාහන වලට
දෙන්න තියන සල්ලි වෙන වෙනම ලියුම්කවර වලට දාලා ලෑස්ති කලා.
සේරම වැඩ හොදින් කෙරේවි කියලා හිතනවා.
ඒත් අම්මට එන්න වෙන්නෙ නෑ කියලා හිතනකොට
දැනෙන දුක වචන වලට පෙරලන්න බෑ..


අද දවල්  ඇද වගේ දිගාවෙලා ඉන්න පුලුවන් රොද පුටුවක් ගෙන්නන්න
ලෑස්ති කරලා ඇම්බියුලන්ස් එකකටත් කතා කලා.
හෙට අම්මව කො‍හොම හරි පැයකට හරි එක්ක යනවා
කියලා හිතාගෙන..


අම්මට ගිහින් කිව්වා "අම්මේ අම්මට අමාරුයිනේ යන්න. ඒත් අපි
ටික වෙලාවක හරි පෝරුවෙ චාරිත්‍ර කරනකල් හරි ඉන්න ගිහින් එමුද
හොටලයට. ඇම්බියුලන්ස් එකකට කිව්වා. දිගාවෙලා ඉන්න රෝද පුටුවකුත්
ලෑස්තියි. අම්මා මොකද කියන්නේ?"


"කමක් නෑ පුතා. මම ඉන්නම්. මට ගොඩක් අමාරු උනොත්
හැමෝම එයි මාව බලන්න. එතකොට වෙඩින් එකේ වැඩ  හරියට
කෙරෙන්නෙ නෑ. අක්කට කියන්න මම වෙනුවට ඒ හැම දෙයක්ම
කරන්න කියලා. ඔයත් හැමදෙයක්ම කලබල නැතිව කරන්න"


නංගි උපන් දවසේ ඉදන් අම්මගේ හිතේ තිබුන ආසාවක් නේද
මේ දියකරලා දාන්න යන්නේ. කොච්චර නම් ආසාවෙන් හැම දුකක්ම
විද ගත්තේ නංගිගේ ජිවිතේ සතුටුම දවසේ ලගට වෙලා ඉන්න ඕන නිසා නේද?
හෙට දවසේ නංගි ඇරුනම සතුටින්ම ඉන්න ඕන ‍අම්මා.
එත් අද ඇදට වෙලා
ඒ හැම දෙයක්ම ඉවසගෙන නංගිගේ සතුට වෙනුවෙන්ම..


නංගි කිවුවා වෙඩින් හෝල් එකෙන් පිටත් වෙලා කෙලින්ම ගෙදරට
ඇවිත් අම්මා බලන්න එන්නම්. වෙඩින් එකත් වීඩියෝ කරන නිසා පෙන්නන්න
පුලුවන් අම්මට.


හෙට වෙඩින් එකට හැමෝම එයි..
කයි බොයි.. සතුටු වෙයි.. හැමදේම හොදින් සිදුවෙයි බුදු සරණින්..
ඒත් අම්මා නැති අඩුව පියවන්නේ කොහොමද?

Monday, June 11, 2012

ලේනා...



අද දවල් අම්මට කෑම කැවුව මම.
කටවල් දෙකයි තුනයි වෙනදට කන්නෙ ඒත් අද ටිකාක් විතර
වැඩියෙන් කවා ගන්න පුලුවන් උනා.


කෑම කවන අතර ගේ පිටිපස්සෙ ලේනෙක් කෑ ගහනවා හරිම 
හයියෙන්. අම්මා කියනවා බලන්න පුතා අර ලේනා කෑගහන්නෙ 
එයාගේ පැටියා නැති වෙලා හරි කූඩුව පැත්තට සතෙක් ඇවිල්ලා හරි ඇති කියලා.


මම කිව්වා "ඔව් මම බලන්නම් අම්මෙ ලේන් අමමෙක් කියන්නෙ ඉතිං පැටවුන්ට 
ගොඩාක් ආදරේනේ. අම්මට මතකට අර කතාවක් තියෙන්නෙ මුහුදට වැටුන ලේන්පැටිය
බේරගන්න වල්ගෙන් මුහුද ඉහින්න පටන් ගත්ත කතාව"


"ඔව් මට මතකයි. ශ්‍රක්‍ර දෙයියො ඇවිත් උදව්කරේ ලේන් අම්ම ගැන දුක හිතිලා 
හරි නේද?"


මම කන ගමන් කල්පනා කලේ එදා ඒ ලේන් අම්ම මුහුද ඉහලා තමන්ගෙ
පැටියා බේරගන්න කරන වීරිය දැකලා ‍ශ්‍රක්‍රදෙවියන් හරි පිහිට උනා. අද 
මම මගේ අම්මා බේරගන්න ඕනම දුකක් විදින්න ලෑස්තියි. 


ඒත් මට උදව් කරන්න තමා 
කව්රුත් නැත්තෙ.





කව්රු උදව් නොකලත් කලත් මම අවසන් මොහොත දක්වාම 
අම්මව බෙරගන්න උත්සහ කරනවා...


Sunday, June 10, 2012

තව දවස් 3යි නංගිගේ වෙඩින් එකට


තව දවස් 3යි නංගිගේ වෙඩින් එකට
අපි සේරම වැඩ නම් ඉවරයි වගේ
ඒත් වෙඩින් කේක් එක තමා තාම
ඉවර නැත්තෙ.
කේක් එක මික්ස් කරන ගමන්
සැරින් සැරේ අම්මට ගිහින් පෙන්නුවා.
අම්මාකවදත් කෑම හදන වැඩ වලට කැමතියිනේ.


මට මතක් වෙන්නෙ අම්මා ගෙදර ඉන්නකොට
ටීවී එකේ හදන කෑම ජාති ලියාගෙන
හෙමිට ටෙස්ට් කරලා අපිට උයලා දෙන හැටි.
තාත්තගෙන් අහනවා හොදයි නේද කියලා.
තාත්තට ඉතින් මොකක් හරි තියනවා කියන්න.ඒපාර අහනවා
මගෙන් "පුතා රසයි නේද?"
අම්මා හදන කෑමක් කවදා රස නෑ කියන්නද?


අනේ ඒ කාලේ කවදා නම් එන්නද?


පව් ලගට එන්න පුලුවන් කම තිබුනනම් අදත්
රෑ එලිවෙනකල් හරි නිදිමරලා කේක් එක හදලා ඉවර කරාවි.






ඇදෙන් ඉස්සි ඉස්සි බලන්න හදන හැටි දැක්කම දුකයි.
ඒත් අම්මගේ හිතේ ධෛර්ය නම් අඩුවක් නැ.
කොහොම හරි නංගිගේ වෙඩින් එකට යනවා කියලා
අදත් කිව්වේ..
ඒ දවස ලංවෙන කොට ගොඩාක් සතුටුයි..
ඒත් අම්මව එක්ක යන්න බැරි උනොත් අම්මට
කොච්චරනම් දුකක් දැනෙවිද? කියලා හිතනකොට
හරි බයක් දැනෙනවා..
තව දවස් 3යි නේ ඒකත් ගෙවිලා යාවි..


Saturday, June 9, 2012

මගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ..


අම්මා කැමති ඕන දෙයක් දෙන්න කිව්වට
අම්මා කිසි දෙයක් ඉල්ලන්නේ නෑනෙ..
තාත්තේ තාත්ත එක්ක දවල් කතා කරන කොට හිමින් 
අහන්න අම්ම කන්න කැමති මොනවද කියලා..
මම එහෙම තාත්තට කිව්වම 
තාත්තගේ ඇස්වල කදුලු පිරුනා..


පුතා අම්මා කිසි දෙයක් මගෙන් ඉල්ලලා නෑ..
ඉතින් ඔයා හිතනවද දැන් ඉල්ලයි කියලා.
පුතා දන්නවද අම්මගේ මල්ලිගේ වෙඩින් එකට 
කොළඹ යන්න ලෑස්ති උන දවසේ මගේ අතේ තිබුනෙ
රුපියල් 500/- යි. බස් වියදමටයි හැමදේමට.
අම්මගේ රත්තරං බඩුත් සේරම බැංකුවෙ.
වෙඩින් එකට අම්මගේ නෑදෑයෝ සේරමත් එනවා.
ඒත් අම්මා ඒක දැන‍ගෙන මගෙන් අලුත් සාරි
ඔයාලට ඇදුම් අලුතින් අරන් දෙන්න ඕන කියලා 
කිව්වෙ නෑ. 
කවම දාකවත් මගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ..
මට මේක අරන් දෙන්න අරක අරන් දෙන්න කියලා. 


"එහෙම තියා මට ටවුන් එකේ කඩ දෙක තිබුන දවස්වල..
යාන වාහන තිබුන දවස්වලවත් තමන්ට කියලා කිසිදෙයක් 
ඉල්ලුවෙ නෑ..කවදාවත් ඉල්ලීම් තිබිල නෑ"


"හැම තිස්සෙම හැමතප්පරකම හිතන්නෙ
හැ‍ම දෙයක්ම කරන්නෙ අපි වෙනුවෙන්..
අද කොහොමද පුතා 
අර විදියට ඇදේ කෙදිරි ගගා ඉන්නවා මම බලාගෙන 
ඉන්නෙ.."


තාත්ත ඉකි ගගහ අඩනවා..
මටත් දුකයි තමයි. ඒත් අඩන්න අවසර නෑ..
මේ වෙලාවෙ හැමෝම දුක් වෙලා අඩල දොඩලා
ප්‍රයෝජනයක් වෙයිද අම්මට..
මට ඕන අම්මව කොහොම හරි යම් තරමකින් 
හරි සනීප කරගන්න විදියක් ගැන හිතන්න.


කො‍හොම හරි ඒක කරනවා..
අම්මා ජිවත කාලෙටම රෝද පුටුවෙ හිටියත් කමක් නෑ.
රෝද පුටුවෙ ඉන්න පුලුවන් තත්වෙට හරි අම්මව ගොඩගන්න 
පුලුවන් උනොත් මට ඒ ඇති දැන්නම්.

Wednesday, June 6, 2012

දවස් කීයද මගේ ලගින් ඉන්නෙ.....


හවස අම්මා ඇදේ කෙදිරි ගානවා ඇහිලා
ලගට ගියා ඇයි කියලා බලන්න.
බලද්දි අම්ම තනියම ඇදේ කොනට යන්න හදනවා.
නංගි එයාගෙ ඇදේ කොනේ නිදි.
අම්මා ඇද කොනට ගිහින් නංගිව ඇහැරවන්න
යනවා කියලයි මම හිතුවේ.


"පුතා නංගි තව දවස් කීයද මගේ ලගින් ඉන්නෙ.
මාව චුට්ටකට නංගිට ලං කරනවාද?
මට එයාව අල්ලගෙන නිදිය ගන්න ඕන."


අම්මගේ ඇස් කදුලින් පිරිලා.


දුවෙක් විවාහ වෙනකොට අම්ම කෙනෙකුට
සතුට වගේම කොච්චර නම් දුකයිද?
ඒත් මගේ අම්මට අඩු තරමින් දුවගේ
මංගල උත්සවයට වත් යන්න බෑනේ..
කොහොමද අම්මට කියන්නෙ කියලා
හිතා ගන්න බෑ..

Monday, June 4, 2012

උකුල පුපුරලා...


අද අම්මගේ ඇදුම මාරු කරනකොට
අක්ක කතා කරලා පෙන්නුව
අම්මගේ කොන්ද අග හරිම වෙනස් විදහට
තියෙන්නෙ..
අස්ථි මතුවෙලා වගේ..
මේක නිසා තමයි අම්මට ඇදේ වත් වාඩිවෙලා ඉන්න බැරි.
උකුල් ඇටය පුපුරලා ඇති. ඒත්
ඩොක්ටර්ස්ලා ආයෙ කිව්වානෙ එක්ක එන්න එපා.හදන්න බෑ කියලා.
හැදුවට වැඩක් නෑ. කොහොමත් පිලිකාවක් මේ තරමට
තියන කෙනෙකුට ඔපරේෂන් කරන එකෙන් තේරුමක්
නෑ කියලා.
එතකොට මොකක්ද කරන්නේ..
හිතාගන්න බෑ. ඒ තියෙද්දි අම්ම තවමත්
හිතාගෙන ඉන්නෙ කොහොම හරි මගුල් ගෙදර යන්න
ඕන කියලා..
ජිවිතෙ මේතරම් ප්‍රශනයකට කිසිම පුතෙකුට අත්දකින්න
ලැබෙන්න එපා..

Sunday, June 3, 2012

කැද දෙන්න පටන් ගත්තා


වරකා කැද දෙන්න පටන් ගත්තා.
පලවෙනිදා ඉදන්.
දවස් 14ක් කියන්නෙ නංගිගෙ වෙඩින් එක
දවස තමයි අන්තිමටම දෙන්න තියෙන්නෙ.
පලවෙනි දවසේ පොවන්න ටිකාක් අමාරු උනාට
අද නම් කැමැත්තෙන් බීලා තිබුනා.
අම්මට කොහොම හරි ඕන නංගිගේ වෙඩින් එක දවස වෙනකොට
සනීප වෙන්න.


අම්මා කොහොමද මෙ පැනි බීම වගේ
කැමැත්තෙන් එක කටට බිව්වෙ කියලා බලන්න
මම වරකා පොලොස්වලින් හදපු කැද එක
නහයට ලං කලා..
බොනවා නෙවි හිතාගන්නවත් බෑ.
ඒතරම් අමුතු සැරක් එනවා.
උගුරට එනවා..
‍ඉටි පෙරුම්කායම් දාන නිසා ඒක තැම්බුන ගද
කොහොම ඉවසගෙන බොන්නද?


ඒත් අද අම්මගේ මූන හොදලා
මම බත් කැද ‍එක හදනව අම්මෙ තව චුට්ටෙන්
අරන් එන්නම් කියලා කියනකොට
අම්මා කියනවා " බත් කැද නෙවි අර බෙහෙත්
කැද එක අරන් එන්න කියලා"

Saturday, June 2, 2012

නංගිගෙ වෙඩින් එක කල් දාන්න..?


හවස නංගි සාලෙට වෙලා කල්පනාවක.
මට තේකක් ඕන වෙලා ලගට යනකල් දැක්නෙ නෑ.
මොනවද කල්පනා කරන්නෙ කියලා ඇහුවම එයා කියනවා


"අපිට බැරිද ‍මගේ වෙඩින් එක කල්දාන්න.
මම ලංකා අයියට කියලා කොහොම හරි කැමති කරගන්නම්.
අම්මට මෙහෙම අමාරු වෙලා තියනකොට කොහොමද 
අපි සතුටින් වෙඩින් එක කරන්නෙ?"


මම කිව්වා 
"ඔයා හීනෙකින්වත් එහෙම හිතන්නවත් එපා ආයෙ.
අම්මට වැරදිලාවත් කියන්න එපා. එයා හැම තිස්සෙම හිතන්නෙ දැන් 
ඔයාගෙ වෙඩින් එක. අම්ම හින්ද වෙඩින් එක කල් ගියා කියලා දැනගත්තොත්
ඒ දුකම ඇති අම්මගේ අසනීපය තවත් වැඩිවෙන්න.
දැන් කරන්න ඕන කොහොම හරි වෙඩින් එකේවැඩ ටිකත් කරන ගමන්ම
අම්ම ගැන බලන එක. 
මම අම්ම ගැන බලන්නම්. ඔයා වෙඩින්එක ගැන බලන්න.
තෝරන කරන දේවල්වලට යන්න එන්න නම් මට වෙලාවක් නැති වෙයි
ඒත් සල්ලි මම දෙන්නම්.
ඔයා කැමති ඕනම දෙයක් ගන්න. කැමති විදියට වියදම් කරන්න.
සල්ලි ගැන හිතන්න එපා.
මම ඔයාගෙ වෙඩින් එක ගැන හිතල සල්ලි ඉතුරු කරලා තියෙන්නෙ
ඔයා ඒ ගැන බයවෙන්න එපා."


මම එහෙම කිව්වට මගේ හිතෙත් ලොකු බයක් තියනවා
අම්මට වෙඩින් එකට යන්න බැරි උනොත් ඒක අම්මා කොහොම දරා
ගනීවිද කියලා..

සුරංගනාවියක් වගේ හැදුන කෙනෙක්...



කල්පනාව මදි ගතිය හරි වාගේ..
ඒත් අසනීපයේ අඩුවක් නෑනේ..
අත පය දෙක කැඩිලා කොච්චර වේදනාවක් 
ඇතිද?
ඒත් කොච්චර වේදනාවක් තිබුනත් 
ඒක කටින් පිටකරන්නේ අමාරුමනම් විතරයි.
දුක වේදනාව අම්මට පොඩිකාලෙ ඉදන් 
හුරු උන දෙයක් නෙවී..


අම්මා ඉස්පිරිතාලෙ ඉද්දි පොඩිමාම නැන්ද එක්ක 
කිව්වලු අද මෙහෙම හිටියට අක්ක
සුරංගනාවියක් වගේ හැදුන කෙනෙක්.
එයාගෙ වැඩට කියලම වැඩකාරියො හිටියා.
ජිවිතේ විදින්න පුලුවන් හැම සැපක්ම 
අවුරුදු 15 වෙනකොට විදින්න ඇති.
පවුල්වලම ඉදපු ලස්සන ම ගෑනුලමයි අම්මාලු.


ඒත් දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත.
ජිවිතේ මගෙ නංගිව ලැබුනට පස්සෙ ඉස්පිරිතාලෙ 
අසනීපයකටවත් නතර නොවුනු මගේ 
අම්මා...
අද ලෙඩ ඇදේ දින ගනන් සති ගනන් නතර වෙන්න උනා.
මෙහෙම හරි ගෙදර එක්ක ආව ‍එක හොදයි.



මගේ ජිවිතේ සුරංගනාවි..
අපි හැමෝගෙම මව් දෙවගන..
අද මෙහම ඇදක් උඩ අසනීපයෙන්..




Friday, June 1, 2012

තාම දන්නෙ නෑ...





ඊයෙ අම්මව එක්ක ආවට ගෙදර අද අම්මගේ
කල්පනාව අඩුයි වගේ.
තාම දන්නෙ නැ ගෙදර ඉන්නෙ කියලා.
තාමත් අම්මා හිතාගෙන ඉන්නෙ ඉස්පිරිතාලෙ
ඉන්නෙ කියලා.
මට තාමත් බෙහෙත් විද්දෙ නෑ කියලා කියනවා.
කොන්ද රිදෙනවා කියනවා හරියට.
හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා.
ඩොක්ටර්ස්ලා ගෙදර එක්ක ගිහින් කැමති දෙයක්
දෙන්න කියලා කිව්වට අම්මා කිසිදෙයක් කන්නෙත් නෑ.
බත් කටත් කෑවොත් ඒක හපලා හපලා ආයෙත් දානවා.
අනේ මෙහෙම වෙන්න මගෙ අම්මා මොන
පාප කර්මයක් කලාද?
අපි කරපු දෙයක් නිසාවත්ද අපෙ අම්මට මෙහෙම උනේ?