Tuesday, October 16, 2012

හැම අම්ම කෙනෙක්ම...


අද වැඩ කර කර ඉන්නගමන් නදීශ නංගි කතා කරලා කිව්ව
එයාගෙ මල්ලි කැම්පස් එක වහලා තිබිලා ගොඩාක් දවස්
ගෙදර ඉදල අද කැම්පස් යනවා...
ඒක නිසා අම්ම අඩනවාලු හොදටම...
පවු හැම අම්මකෙනෙක්ම තමන්ගෙ දරුවන්ට
කොච්චර නම් ආදරෙයිද?
ඒ අතරිනුත් අම්ම කෙනෙක්ගෙ ආදරෙ වැඩියෙන්ම
ලබන්නෙ පුතෙක් කියල මම අත්දැකීමෙන්ම දන්නවා.

මට මගේ අම්මව මතක් උනා..
දවස් දෙකක නිවාඩුවට මම ගෙදර ගිය ගමන් අම්මගේ
මූනෙ හිනාවයි.. අයෙත් මම කොළඹ එනවා කියලා දැනගත්තම
කලින් දවසෙ පුතා ඔන්න ඔහෙ තව දවසක් ඉදල යන්න බැරිද කියල
අහනවා. මමත් කො‍හොම හරි තව දවසක් ඉන්නවා.
ඒත් ආයෙත් ඊලග දවසෙත් යන්න යනකොට අම්මගේ ඇස්වල කදුලු..
අම්ම ලගට වෙලා හැමදාම ඉන්න තියනවනම් අම්මට ඇති.

ඒත් ආයෙ කවද ඒ ආදරය මම ලබන්නද?
ජිවිතේ කවදාකවත් මිල කරන්න බැරි ඒ ආදරය කවද
කොහොම මම ලබන්නද?

Monday, July 30, 2012

රෝද පුටුවත් දන්දෙන්න පුලුවන් උනා.




අම්මගේ රෝද පුටුවත් දන්දෙන්න
පුලුවන් උනා.
මෙනින්ජයිටිස්/අක්මාව නරක් වුන වයසක අම්ම
කෙනෙකුට.
පවු ඒ අම්ම මට කතාකරලා ගොඩාක්වෙලා පිං දුන්නා.
පුතා ඔයාට විතරක් නෙවි ඔයා බිහිකරපු අම්මටත්
ජාති ජාතිත් මටවගෙ විපතක් වෙන්න එපා කියලා
කියනකොට කතා කලෙ ‍මොබයිල් එකෙන් උනත්
මගේ ඇස් වලට කදුලු ආවා.

ඒ අම්මට අවුරුදු 50ක් විතර.
දුවලා දෙන්නයි පුතයි. ලොකු දුව කාගිල්ස් එකේ
අනික් කෙනා උසස්පෙල ලබන අවුරුදුදේ. පුතා
තාවම 9 වසර. මහත්තයා දාලා ගිහින්.
හරිම අසරන පවුලක්. අක්කට විස්තර කිව්වම
අක්කා රු 1000ක් මාසෙට ඉගෙන ගන්න ලමයට දෙන්න
බලන්නම් කිව්වා.
හොදට ඉගෙන ගෙන රස්සාවක් නැති කමට කාගිල්ස් එකේ
වැඩ. මම කිව්වා අපේ කම්පැනි එකට ගන්නමි අප්ලිකේෂන් එකක්
දෙන්න කියලා.

කවදා හරි කරන හොද විතරයි ඉතුරු වෙන්නෙ.

අම්මා වෙනුවෙන් පිං කරනවා ඇර වෙන මොනවා කරන්ද අපි දැන්?

Monday, July 9, 2012

ඇද පූජා කලා


හත්දවසේ දානෙ අක්කලගේ ගෙදර දුන්නා.
බණ දවසෙ 200ක විතර සෙනගක් ආවා.
හීල් දානය පංසලට ගිහින් දුන්නා..
ඒ වැඩ නම් හොදින් කෙරුනා.
තුන්මාසෙ දානෙ ගෙදරදි කරන්න ඕන කියලා
තාත්තා
ඒත් හැමෝම රොබෝල වගේ.
කරන්නෙ කියන්නෙ කන්නෙ බොන්නෙ
ඕනකමකට බඩගින්නට නෙවෙයි.

ගෙයි හැමතැනකම අම්මගේ මතයකන්
පිරිලා..
තාත්තා පැත්තකට වෙලා කල්පනා කරනවා.
එපා කියලා කියන්නැයි..
කොයිතරමි හිත තද කරගෙන ඉන්න හැදුවත්
ආයේ අම්මා කවදාවත් එන්නෙ නෑ කියලා
දැනෙන කොට ඇස් කදුලින් තෙත්වෙන එක
නතර කරගන්න තරම් හිත හයිය නෑ.

අද අම්මගෙ නවන්න පුලුවන් ඇද රාජගිරියෙ
සදාකාලික ආබාධිතයින් ඉන්න වැඩිහිටි නිවාසයකට
ගිහින් දුන්නා.අම්මාට  ඒ ඇද පාවිච්චි කරන්න ලැබුනෙ හරියටම
දවස් 30යි.
 එතන ඉන්න සමහර වැඩිහිටි අම්මලා තාත්තලා
මුලු ජිවිත කාලයටම ඇදෙ ඉන්න වෙලා තියෙන්නෙ.
වැඩිහිටි නිවාසෙ කට්ටිය 250කටත් වැඩි උනත්
ඒ ජාතියෙ ඇදන් තියෙන්නෙ 2යි.
ඇද පූජාකරලා බුදුන් වැදලා පිං අනුමොදන් කරන්න
ඉදපු අම්මගේ අතෙයි කකුල්වලයි ඇගිලි උපතින්ම නෑ..
ඇද එතනට පූජා කරලා ඒ පිනෙන් අම්මට හොද උප්පත්තියක්
ලබන්න වාසනාව ලැබෙන්න කියලා පිං දුන්නා.

Saturday, June 30, 2012

මුලු ජිවිතේම හිස් වෙලා වගේ..




කොතනින් කොහොම පටන් ගන්නද ලියන්න.
මොනවා ලියන්නද තවත්..
ජිවිත කාලයම ජුනි මාසෙ 30 කියන්නෙ 
මගේ ජිවිතේ අවාසනාවන්තම දවසක් වෙයි.
අම්මා අපිව/මාව දාලා ගියා කොහොම හිතාගන්නද?
අද වෙනකොට ලිපි 49ක් ලියලා තියනවා.
ඒත් 50 වෙනි ලිපිය ලියන්නෙ අම්මා නැති වෙලා 
මාස එකහමාරක් ගතවුනාට පස්සෙ..
අම්මා අපිව දාල ගියා කියලා ලියන්න වුන එක 
කොච්චර අවාසනාවන්තද?

මුලු ජිවිතේම හිස් වෙලා වගේ..
අම්මව ජිවත් කරන්න ගත්ත හැම උත්සහයක්ම වතුර ගියා 
කියලා මතක් වෙන කොට..
මගේ අම්මා නැතිවෙන වෙලාවෙ මට ලගට වෙලා ඉන්න 
බැරි උනා කියලා හිතනකොට..
තාමත් අම්මාගෙ කටහඩ කන ලගින් ඇහෙනවා වගේ..
කොළඹ ජයරත්න මල්ශාලාවෙ එක දවසින් අම්මා කලින් කියපු විදියට
අවසන් කටයුතු කලත්
අම්මා ලගදිම දවසක මාව දාලා යනවා කියලා කලින් දැනගෙන 
හිටියත් මම හිතුවෙ නැ අම්මාට මෙහෙම වෙයි කියලා.

අවසාන දවස් එකහමාර සිහිනැතිව හිටිය එක හැරුනම 
අම්මා ගොඩාක් විදෙව්වෙ නැ කියලයි හැමොම කියන්නෙ
අම්මා හොද තැනක උපත ලබා ඇති කියලා හිතනවා..
උපනුපන් ජාතිවත් මේවගේ අකල් මරනයක් මගේ අම්මට 
වෙන්න එපා..


..මට මෙහෙම දුකක් දැනෙනවානම්
තාත්තා කොහොමද මේ දුක දරාගන්නෙ.
මතක් කරන මතක් කරන හැම තප්පරයකම 
කියාගන්න බැරි පාලුවක් හිතට දැනෙනවා..
කවදා කොහොම මේ අඩුව සම්පුර්න වෙන්නද?

අම්මගේ අහිමි වීම හරියට හීනයක් වගේ..
ඔව් ඇත්තටම හිනයක් උනානම්..
කොයිතරම් දුක උනත් ඇහැ ඇරෙන කොට ඒක හීනයක් 
විතරමයි. ඒත් මගේ අම්මා මම ලග නෑ කියන එක 
හීනයක් නෙවෙයි හැබෑවක් කියලා දැනෙන කොට
මුලු ජිවිතේම එපා වෙනවා..
ඒත් එහෙම හිතන්න මට අයිතියක් නෑ..
මට මොනවා හරි උනොත් තාත්තා තවත් අසරන වෙනවා.
ජිවිතේ අවසන් තප්පරයත් තාත්තව සතුටින් තියන්න උත්සහ කරනවා.
අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ..

ලිවුවෙ - අගෝස්තු 15 

Monday, June 25, 2012

හරිම පාලුවක් දැනුනා...


ඊයෙ මම කැකිරාවෙ ගියා..
පාන්දර වුනා යනකොට. වෙනදා මම ගෙදර එනවා කියලා කිව්වම
අම්මා රොටි හදාගෙන රෑ පිරිත් කිය කිය මම එනකල් ඇහැරලා ඉන්නවා.
මම ගේට්ටුව අරින සද්දෙට අම්මා දොර ඇරගෙන එනවා..
පුතා මුණහෝදගෙන එන්න මම විනාඩියට තේ හදන්නම්
කියලා තේ හදන්න යනවා..
ඊයෙ ඒ මුකුත් නෑ.. හරිම පාලුවක් දැනුනා.
ගෙදරම පාලු වෙලා...
අද උදේ එනකොටත් අම්ම ගෙදර නැති අඩුව දැනුනා හොදටම.
මම අම්මට වැදලා කොළඹ එන්න පිටත් වෙනකොට
ගේට්ටුව ලගටම ඇවිත් මම නොපෙනී යනකල් 
රත්නමාලි ගාථාව කිය කිය මගට 
වෙලා බලාගෙන ඉන්නවා.
අද ඒ මුකුත් නෑ...
3-4 සැරයක්ම එනකොට හැරිලා බැලුවා 
පුරුද්දට වගේ.. 

Sunday, June 24, 2012

අම්මගේ එක ඇහක කදුලු..

අද උදේ බලන කොට අම්මගේ එක ඇහක කදුලු..
දිගටම එනවා. නවතින්නේ නෑ..
මම ඇහුව අම්ම අඩනවද? කියලා නෑ නෑ මම අඩන්නැ
කියලා හිනාවෙනවා..එත්
කොන්දත් රිදෙනවාලු ගොඩාක්.
පුතා පුලුවන්නම් විතරක් මාව පොඩ්ඩක් දකු‍ණුපැත්තට
හරවනවාද කියල ඇහුව.
මම හිමිට දකුනට හරවලා විනාඩි 2න් ආයෙත් තිබුන විදිහටම ඉමුද
කියලා අම්මාම අහනවා.




කීප සැරයක්ම එහෙම කරලා..හිටියා..
ඒත් අම්මට අඩුවක් නෑ..
"කමක් නෑ පුතා යන්න. ඔයාටත් කරදරේ. වැඩට යන්න පරක්කුවෙයි.
ඔයාව පේන්න ඉන්නකොට තමයි
එ‍හෙට මෙහෙට හරවන්න කියන්න හිතෙන්නෙ.."
අම්මා වේදනාව අතරින් හිනාවෙවි කිව්වා.




දැන් අම්මගේ කකුල් දෙක තනියම පොඩ්ඩක්වත්
එහාට කරගන්න බෑ තනිවම. දකුණු අත වැලමිට ලග
පහල අස්ථියේ ගැටයක් වගේ තියනවා.
කලින් කකුල කැඩෙන්න කලිනුත් එහෙම තිබුනා.
වම් අතේ මැණික් කටුව ලගිනුත් එහෙම තියනවා.
අත් දෙකත් අම්මට නැතිව ගියොත්
කොහොමද අම්ම හිත හදාගන්නෙ..‍
අපි කොහොමද අම්මව හරවන්නෙවත්..
කැඩුන අත් එක්ක...
දැන් එන්න එන්නම වැඩියි අම්ම ඉක්මනින්
දුර්වල වෙනවා වගේ..
කෑම කන්නෙ කුරුල්ලෙක් තරමට.


හවස ඩොක්ටර් ඩිහාන් හම්බවෙන්න ගියා.


ආයෙ එන්න එපා කිව්වත් අම්මා ඇද උඩ එහෙම විදවනවා ‍
බලාගෙන ඉන්න පුලුවන් කාටද?
ඩොක්ටර්ට කිව්වම එයා කිව්වා


"නවතින්නෙ නැතිව ඇස්වලින් කදුලු එනවා කියන්නෙ කදුලු එන ග්‍රන්ථි දක්වාම පිළිකා සෛල
උඩට ඇවිල්ලා. බෙහෙත්වලින් නවත්වන්න බෑ කදුලු එන එක.
දරුවො තාත්තටත් පපුවෙ අමාරුවක් තියනවා නේද ඉතින්
කොහොමද දවල් තාත්තව අම්ම ලග ඉන්නෙ. ගොඩාක් අමාරු ලෙඩෙක්
නිසා ගෙදර නතර කරගන්න එපා දැන්. මහරගම පෞද්ගලික රෝහලක් තියනවා
එතන ඉන්නෙ බෙහත් නොකරන පිළිකා ලෙඩ්ඩු.


ගිහින් එයාලට කියන්න අම්මට පිළිකාවක් කියලා දැනගන්න තියන්න එපා කියලා.
 එතනට ගිහින් ඇරලවන්න.
ඔයාලට නිතර බලන්න පුලුවන්. නතර වෙලා ඉන්නත් පුලුවන්.
හැමදේම එයාල කරාවි. කියලා. ඒත් කොහොමද අම්මව එහෙම තැනකට
‍එක්ක යන්නෙ..එහෙම කරන්න හිත හදාගන්න බෑ..කියලා ඩොක්ටර්ට කිව්වම එයා
කියනවා. මම දන්නවා. එත් ‍අම්ම කෙනෙක්ගෙ අවසාන මොහොත දරුවෙකුට
දරාගන්න බැ. වි‍ශේෂයෙන් ස්වාමියට. ඉතින් ආයෙ සැරයක් හිතල බලන්න කියලා
වේදනා නාශක විතරක් දුන්නා.




මම මේච්චර කල් කල දේවල් ගගට කැපුව ඉනි වගේ වෙයිද?


අනේ මගේ අම්මා..




අම්මට දැනෙන වේදනාව අම්මට නොදැනි
මට ගන්න පුලුවන්නම්..
අඩු තරමින් ‍කොටසක් හරි...



Saturday, June 23, 2012

රත්තරනුයි මුතුයි

අද තාත්තත් එක්ක කොටුවට ඇවිත් කලින් වරකා පොලොස් කැද
දෙන්න කියලා කිව්ව වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා.
හොදටම නැති උනත් ටිකාක් හරි ගුනයක් තියනවා කියලා තාත්ත
නම් කියනවා.
තාත්තා ඩොකටර් ගෙන් අහනවා. අපිට කල් ගියත් කොහොම හරි සනිප කරගන්න
පුලුවන් නම් ඒ ඇති කියලා.


තාත්තා වචන පිටකරන්නේ ඉකි ගගහ වගේ..


ඩොක්ටර් කියලා මොනවා කරන්නද තාත්තෙ.
තාත්තගෙ හිතේ තියන දුක මේ ලෝකෙ ගහක් ගලකට උනත් දැනෙන තරම්.
ඒත් මේක අම්මා මේ ආත්මයේ කරපු පවකට නෙවි. ගිය ආත්මයේ කරපු පාප කර්මයක්
වෙන්න ඇති. අපි දැනුවත්ව අම්මා කාටවත් වෛර කරපු කෙනෙක්වත් ඊරිසියා කරපු කෙනෙක්වත්
නෙවි. රහසින්වත් පවි කරලා නැතිව ඇති. ඒත් අම්මාටම මෙහෙම උනානේ..




මේ බෙහතට රත්තරනුයි මුතුයි කවලම් කරලලු
තියෙන්නේ. ටිකාක් ගනන්. ඒත් මෙහෙම හරි සනීප
වෙනවානම් කීයක් ගියත් කමක් නෑ.


මේ ලෝකේ පුතෙකුට අම්මා කෙනෙකුගේ සෙනෙහස
ආදරය තරම් වටිනා දෙයක් නෑ කියලා කොහොම වචන
වලින් කියන්නද?


කිසිම දවසක කිසිම අම්මා කෙනෙකුට මාගේ
අතින් වරදක් වෙන්න එපා.
හිත රිදවීමක් වෙන්න එපා.


බෙහත් එක අරන් තාත්තා ගෙදර ගියා.
මම වැඩට ගියා..
හෙටම ඉදන් දෙන්න පටන් ගන්න ඕන..