Monday, April 30, 2012

එයා කොහොම එන්නද? නේද පුතා


අද උදේ අම්මා බලන්න ගියාම අම්මා කියනවා
ඊයේ මම නංගියේ යාලුවෝ ඇවිත් ඉන්නකොට හිතුවේ ට්‍රින්කො දුව ඇවිල්ලා
කියලා. ඒකයි මම ඇස් ඇරලා නැංගිටලා හොදට බැලුවෙ. පස්සෙ තමා දැක්කෙ වෙන කවුදො
කට්ටියක්කියලා.
එයා කොහොම එන්නද? නේද පුතා. ඒත් පුතා කිව්ව නේද එයා එනවා
මාව බලන්න කියලා. මගේ දිහා බලාගෙන අම්ම එහෙම කියනකොට
මම අහක බලාගත්තා. වෙන මොනවා කරන්නද අම්මෙ මම.
මම බොරුවක් කිවුවෙ නෑ අසනීපෙන් ඉන්න මගේ අම්මව සනසන්න.
මමත් එහෙම හිතුවා..ඒක නිසයි කිවුවෙ.

මට සමාවෙන්න අම්මේ..

Saturday, April 28, 2012

"ඒත් මගේ ලේලි නෑනේ."


අද අම්මා කියපු දෙයින් මට හරියට දුක හිතුනා.
ඒත් අම්මෙ කොහොමද මම ඒක කරන්නෙ.
උදේ අම්ම ඇහුව-
"පුතා ට්‍රින්කො දුවට එන්න බැරිද මාව බලන්න..
පුතා කියන්න හැමෝම ආවනේ ඔයාත් එන්න කියලා.
එත් එච්චර දුර ඉදන් කොහොමද එන්නෙ. ආ මට අමතක උනානෙ
ගෙදරින් එයාව එවන එකක් නෑනේ. පුතා එක්ක තරහයි නේ.
ඒත් මම අසනීපයෙන් කියලා එයාල දන්නෙ නැතිව ඇති. නැතිනම්
කොහොම හරි ඒවි. "


ඊයේ ලංකා අයියායි එයාගේ අම්මයි ආවා. ඉන්දික අයියත් ලග ඉන්නකොට
තාත්තා කිව්වා දැන් නම් බෑනලා සේරම ඔයාව බලන්න ඇවිල්ලා කියලා.
අම්මා කියනවා "ඒත් මගේ ලේලි නෑනේ."
එයාත් ඒවි කියලා තාත්තා කිව්වා. අක්ක කතාව වෙන පැත්තකට හැරෙව්වා.
මම දන්නවා අම්මා නදීශ නංගිව දකින්න ගොඩාක් කැමතියි කියලා.
ඒකනේ වෙන කව්රුහරි කතා කලොත් ඇගට සනිප මදිනම් මම නිදි කියන්න
කියනවා. එත් කවදාවත් නදීශ නංගි කතා කරන වෙලාවට වචනයක් හරි කතා නොකර
ඉදලා නෑ.


මම මොනවා කියලා කරන්නද අම්මේ...

Friday, April 27, 2012

මනුස්සකම තාමා කවදා හරි ඉතිරි වෙන්නෙ.


ඊයෙ රෑ නංගි අම්මා ලග අක්ක දවල් එනවා කිව්වා.
ඒ අතරට ඉනොකා අක්ක අම්මව බලාගන්න ලග හිටියා.
පව් එයා නෑ කෙනෙක් වගේ අම්මව ආදරෙන් බලාගෙන.
අම්ම හරි කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ.
මම ඇහුවා අද ආපු අක්ක හොදයිද අම්මෙ කියලා
 අම්මා කියනවා
 "ඒ දුව නම් මගේ දරුවෙක් වගේ උදේ ඉදන් අපි කතා කර කර 
හිටියා. බලන්න එයාගේ මොන්ටිසෝරි යන දරුවෙක් යාලුවෙකු‍ට බලාගන්න
කියලා ඇවිත් තියෙන්නේ. එයා රට ඉද්දි එයාටයි මහත්තයටයි ගොඩාක් උදව් කරලු.
ඒක කවදාවත් අමතක කරන්න බැරිලු. ඒනිසා මහත්තයා කිව්වලු පැය ගානකට හරි රවි මල්ලිට
උදව් කරන්න කියලා.  දැක්ක නේද පුතා මනුස්සකම තාමා කවදා හරි ඉතිරි වෙන්නෙ."


ඒකනම් ඇත්ත අම්මෙ. නෑයො ලග නැති මනුස්සකම පිට මිනිස්සු ලග තියනවා වෙලාවකට.

Thursday, April 26, 2012

අම්මා මොකක්ද අදින්නේ?



නංගිගෙ වෙඩින්එකට එයාගෙ ඇදුම් විතරයිනේ තාම
ලෑස්ති කලේ. අපි කාටවත් ඇදුම් ගත්තෙ නෑනෙ අම්මෙ.
අම්මාට මොකක්ද ගන්නෙ? දිග ලස්සන වටිනා ගවුමක් වගේ
එකක් ගමුද?
මගේ දූගේ වෙඩින් එකට ගවුම් අදින්නෙ කොහොමද?
මමත් ඉන්න ඕන සාරි ඇදන් ලස්සනට. නැතිනම් ඒක බේබිටත්
හරිනෑ..


මැදැයි උත්තරය කටටම දීලා ප්‍රශ්නයක් ඇහුවා අම්මගෙන්.
පවු. අම්මා සාරියක් ඇදලා වෙඩින් එකට ඉන්න ඇගිලි ගනන්
කරනවා. සාරි කෙසේ වෙතත් රෝද පුටුවෙන් හරි අම්මව සතුටින් වෙඩින් එකට
එක්ක යන්න තියනාවානම් ඒක ලොකු බලාපොරොත්තුවක් ඉටු කලා වේවි.

Tuesday, April 24, 2012

ඊයේත් රෑ මම ඔෆිස් එකේ .........


ඊයේත් රෑ මම ඔෆිස් එකේ හිටියේ. උදේ පාන්දර 4ට නැගිටලා ලෑස්තිවෙලා
කොටහේන ඉදන් රාජගිරියට ගිහින්
අම්මට කැද එකක් අරන් ආපහු 6.00 ඉස්පිරිතාලෙට යන එක ලේසියි.
රෑට බොඩිමට ගිය දවසට හරිම පාලුවක් දැනෙන්නෙ. විනාඩියක්වත් ඇස් පියවෙන්නෙ
නැ. පියවුනත් ගැස්සිලා ඇහැඇරෙනවා.

Thursday, April 19, 2012

සිනහව....෴



බස් එකෙන් බැහල ඉස්පිරිතාලෙට යන කල්ම
මගේ මුනට හිනාවකින් සරසගන්න උත්සහ කරනවා.
ඒ මොනතරම් වේදනාවක් දැනුනත් අපිව දකින හැමතප්පරයකම
අම්මාගේ මුහුනෙ ඇදෙන ඒ සුපුරුදු හිනාවට ප්‍රති උත්තරයක් විදියට.


ඒත් අම්මා දන්නවනම් අම්මව දකින හැම තප්පරයකමත්
අපි මැරි මැරි උපදිනවා කියලා..
තව කොච්චරනම් කාලයකටද මේ හිනාව අපිට අයිති.
ජිවිතේ හැම දුකක්ම කරදරයක්ම ඉවසගෙන ඉන්න අපිටත්
තාත්තටත් මහමෙරක් උන අම්මගේ සැහැල්ලු බවේ සංකේතය
මේ සිනහව..තව ටික කාලයකින් අපිට දාලා යාවි.....

Wednesday, April 18, 2012

මෙයා මගේ පන වගේ...


අද දවල් මම කෑම එක අරන් අම්මව බලන්න යනකොට
77 වෝඩ් එක බාර ඩොක්ටර් දුලනි හමබ උනා.
ඩොක්ටර්ට මතකයි මාව. දැන් කොහොමද අම්මට කියලා ඇහුවා.


මට මතක් උනේ අම්මාගේ ජනවාරි ඔපරේෂන් කල එක දවස..


එදා
මම තියටර් එක ලග අම්මව ඇතුලට ගන්නකල් 
ලගට වෙලා හිටියා..
ලෙඩ්ඩු ඉදලා අනික් අය යන්න කියලා කිව්වත් මට
යන්න හිතුනේ නෑ.. 
බැන්නත් තව ටිකාක් වෙලා ඉන්නවා කියලා
හිතාගෙන මම හිටියේ.
එහෙම ඉන්නකොට තමා ඩොක්ට දුලනි ආවේ.
ඩොක්කටර් - "ඇයි මේ. කව්ද ඔයාමොකෝඅනෙක් අයට යන්න කිව්වානේද? ඇයි මේ අම්මව දාලා යන්න කිව්වට යන්නෙ නැත්තෙ?
මම උත්තර දෙන්න කලින්ම
අම්මා - "මේ මගේ පුතා"
ඩොක්ට - ආ අම්මෙ මෙ පුතා විතරද ඉන්නෙ 
අම්මා - "නෑ. මෙයා මගේ පන වගේ. තව දුවලා දෙන්නෙක් ඉන්නවා
          ඇස්දෙක වගේ.. "කියලා හිනාවෙලා කිව්වා.
ඩොක්ටර් -- හා.. හා.. එහෙනම් තව ටිකාක් වෙලා අම්මා ලගට වෙලා ඉන්නකො කියලා ඩොක්ටර් ගියා..

Saturday, April 14, 2012

හැත්තෑතුනේන් දෙකේවාට්ටුවට....

අද උදෙන්ම අක්කලාගේ ගෙදර ඉදන් අම්මා බලන්න ගියා.
කිරිබත් අරන් අපි හැමොම අම්මා ලග. කිරිබත් කන්න අම්මා කවදත්
කැමති නිසා කටක් දෙකක් කෑවා. හිතට සතුටුයි.



දවල් කෑම ගන්න කඩයක් නෑ. ඊයේ අවුරුදු නිසා තාමත් 
කඩවල් වහලා. කොටහේන හන්දියට පයින් ඇවිත් තොසේ අරන්
ගියා. චුටි කෑල්ලක් විතරයි කෑවේ අම්මා. ඒකත් හොදි ගාවන්නේ වත් 
නැතිව.මෙහෙම කාලා කොහොමද? ඒත් මොනවා කරන්නද? අම්මාට කන්න 
බැරිව ඇති.



අද අම්මාගේ වාට්ටුව මාරුකරලා.
හදිසි අනතුරු වාට්ටුවේ ඉදන් දෙකේ වාට්ටුවට..
කලින්තැනට වඩා ගොඩාක් ලෙඩ්ඩු ඉන්නවා..
ගල්කිස්සේ අයියලාගේ ගෙදරින් හැමෝම ආවා.
අම්මාට සතුටුයි. ඒත් කෑම කෑවේනෑ මොනවාවත්ම.
උදේ නංගිට කියලා තිබුන හවස ඒද්දි රොටි අරන් එන්න
කියලා. ඒත් පස්සෙ කනවා කියලා අයින් කලා. අද රැ අක්ක 
අම්මා ලග නතර වෙනවා. මේ දවස් ටිකේම නංගි ලග හිටියේ.
හෙට මොනවද අම්මට ගේන්න ඕන කියලා අහනකොට..
පුරුදු විදියටම ඇස් දෙක දිහා බලාගෙන මොනවා ගෙනාවත් 
කන්න බෑනේ පුතේ කියලා කියනකොට දන්නෙම නැතිව මගේ ඇස් දෙක
තෙමුනා. ඒත් ඒ කදුලු හංගගෙන මම මොනවා හරි ගේන්නම් අම්මෙ කියලා
පිටත් උනා.

Wednesday, April 11, 2012

කකුල ඔපරේ‍ෂන් කරල තේරුමක් වෙයිද?


පුංචි හේවා ඩොක්ටර් චැනල් කරලා අද හවස හම්බ උනා..
ඩොක්ටර් අම්මගේ පරන රිපෝට් බලලා කිව්වා අස්‍‍ථියක් දිරන්න 
තරම් මේ පිළිකාව වර්ධනය වෙලා කියන්නේ පෙනෙන තරමට 
ඇග හැම තැනටම වර්ධනය වෙලා ඇති කියලා.
ඒත් එහෙම උනොත් බේරගන්න අමාරුවෙයි කියලා කිව්වා.
කකුල ඔපරේ‍ෂන් කරල තේරුමක් වෙයිද? කියලා මගෙන් අහනවා.
මම මුකුත් නොකිය බලාගෙන හිටියා.
නැ අපි ඉක්මනින් ඔපරේෂන් එකට ගනිමු කියලා ඩොක්ට ම කිව්වා.


කොහොමද කැඩුන කකුලක් එක්ක අම්මා ඉන්නෙ. ඇදෙන් හැරෙන්න 
බැරි තරමට රිදෙනවා.. වාට්ටුවෙ අනික් අය මරලතෝනි දෙනවා
රිදෙනවා කියලා.. එත් අම්මා ඉවසගන්න බැරිම උනොත් කෙදිරි ගානවා
එච්චරයි.. 


දවල් ඩොක්ටර්ස්ලා ගොඩාක් ඇවිල්ලා අම්මව බලලා ගිහින්.
බයේ බෑ. කාගෙ හරි කටින් අම්මට පිළිකාවක් කියලා අම්මා දැන
ගත්තොත්..අම්මා දුක්වෙයි ගොඩාක්.. 
තාත්තා තනිවෙනවා කියලා හිතලාම අම්මගේ අසනීපය වැඩිවෙයි..

Tuesday, April 10, 2012

දනිසට උඩින් කැඩිල......


අද හවස 4.30 මම අම්මත් එක්ක කතා කරල ෆෝන් එක තිබ්බ විතරයි
අයෙත් 5ට විතර අක්ක කතා කරලා කිවුව අම්මා ටොයිලට් එකට යන්න‍
වීල් චෙයාර් එකට නගින්න යනකොට ඔපරේ‍‍‍ෂන් කරපු කකුලේ නෙවේ අනික් කකුලේ දනිසට උඩින් කැඩිල කියලා. තාත්තයි නංගියි දෙන්නම ගෙදර ඉද්දි.
මට හිතාගන්න බැරි උනා. කකුල කැඩෙන්න අම්මා ඇදෙන් වැටිල ද කියලා.
මම හිටියානම් මම වීල් චෙයාර් ‍එකේ යන්න නොදි වඩාගෙන 
ගිහින් කොමඩ් එකේ අම්මව තියනවානේ. අම්මා තාත්තට එහෙම යන්න ඕන කියලා
 කියන්නෙ නැතිව  තනිවම ඇදෙන් විල්චෙයාර් එකට මාරු වෙන්න ගිහින් ‍
කකුල උස්සනකොට නිකම්ම කැඩිලා. අක්කා ගිහින් අයියත් එක්ක
ජන‍රල් හොස්පිටල් එකට එක්ක එනකොඩ මම ඔෆිස් ඉදන් කෙලින්ම 
එතනට ගියා..


ඇස් දෙකට මෙහෙම දෙයක් දකින්න උනානේ..
අම්මගේ කකුල් කැඩිලා ඇතුලින් නැවිලා හොදටම..
ඒත් අම්මා ඉවසගෙන ඉන්නවා.. හරිම පුදුමයි..ඉස්පිරිතාලෙ හැමෝටම.!!
තාත්තා කලබල වෙන නිසා කොහොම හරි ඉවසගෙන හිටියෙ අම්මා..‍


මේ සතියෙ අවුරුදු. ලබන සතියේ සුදස්සි හාමුදුරුවන්ගෙ බ‍ණ.
මේ සේරම තියෙද්දි අම්මව ඔපරේ‍‍ෂන් එකට කවදා ගනීවිද දන්නෙ නෑ.
කලින් සැරේ වගේ පරක්කු වෙයිද දන්නෙ නෑ.
මේ සැරේ අම්මව ඩොක්ටර් පුංචිහේවාගේ වාට්ටුවට ඇතුල් කලේ.
අනේ මගේ අම්මව ඉක්මනින් හොදකරගෙන ගෙදර එක්ක යන්න ලැබෙන්න ‍
කියලා මම කැල‍ණි පංසලට ‍භාර උනා..
මම වෙන මොනවා කරන්නද?


මේ වෙලාවෙ හැමෝම අසර‍‍ණයි..
අම්මා අහනවා පුතා මට මේ සැරේ අවුරුද්ද මෙහෙම තමා 
ඉන්න වෙන්නෙ නේද‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍?
මම කිව්වා බලමු අම්මෙ ඉක්මනින් ඔපරේ‍ෂන් කලොත් ඉක්මනින් 
යන්න පුලුවන් වෙයි කියලා..

Sunday, April 8, 2012


අද අම්මා එක්ක මමයි අයියායි අක්කයි
රද්දොලුවෙ ගෙදර ගිහින් කුස්වල වෙද හාමුදුරුවෝ ලගට 
අම්මා එක්ක ගියා. 
උදෙන්ම ගිය නිසා කට්ටිය නෑ. ඒත් යනකොට 6.30ට විතරත්
‍38 අංකය ලැබුනේ. අම්මව පෙන්නල රිපෝට් ටික බලල කිව්වා ‍
බෙහෙත් කියන්න. පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න කියලා. 
අපි අම්මව ගිහින් කාර් එකේ වාඩිකරල ඉද්දි ආයෙත් 
විනාඩි 20කට පස්සෙ අර කැකිරාවෙ ඉදන් ආපු අය එන්න කියලා 
කිව්වා.


ලෙඩෙ හැටියට නම් ‍හොදකරන්න බෑ. බොරුවට මට කියන්න බෑ
හොදකරනවා කියලා. ඒත් ලෙඩේ පාලනය වෙන්න මම බෙහෙත් කරන්නම්.
මොකද කැකිරාවෙ කියන්නෙ මගේ ගමේ ඉදන් අපු අය නිසා.


එහෙම කියලා සති දෙකකට බෙහෙත් දුන්නා. සති දෙකට රු 8900ක්.
ඉන්දියාවෙන්ලු බෙහෙත් ගේන්නෙ. එතන ගොඩාක් පිලිකා වලට 
බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩු හිටියා. එයාල කියන විදියට නම් හොදයි. 
ඒත් වෙදහාමුදුරුවෝ හොදකරන්න බෑ කියලා කියපු එක නම් හිතට දුකක්.


අම්මට කිව්වා අම්මව සනීප කරන්න ‍බාරගත්තා කියලා.
අම්මට ගොඩක් සතුටුයි. කොහොමත් අම්මා ආයුර්වේද බෙහෙත් වලට
 වැඩි වි‍ශ්වාසයක් තියන නිසා.
තාත්තටත් කිව්වා කෝල් කරලා. තාත්තටත් සතුටුයි.
බලමු තවත් බලාපොරොත්තුවක් ඇති වුනා පොඩියට හරි...
මේ තත්වයෙන් පාලනය කර‍ගත්තොත්
අම්මා ජිවිත කාලයටම රෝද පුටුවෙ ඉදිවි. එත් ‍
කමක් නෑ. නංගි බැදලා ගියත් මම බැන්දත් 
මට පුලුවන් අම්මව පන වගේ බලාගන්න..

කුකුල්පනේ සුදස්සි හාමුදුරුවන්


අද කුකුල්පනේ සුදස්සි හාමුදුරුවන්ට කතා කලා.
අම්මා බෞද්‍යා චැනල් එකේ සුදස්සි හාමුදුරුවන්ගේ බන
හරිම ආසාවෙන් අහන නිසා බනක් කියනවානම් ඒ හාමුදුරුවන්ව
‍එක්ක එන්න බලන්න කියලා අම්මා කිව්ව නිසා.


ටීවී එකේ බ‍න කියන ප්‍රසිද්‍ධ හාමුදුරුනමක් නිසා පුලුවන් වෙයිද 
දන්නේ නෑ කියලා හිතුවේ බනට ආරා‍‍ධනා කරන්න.
මම අම්මගේ විස්තරත් කියලා බ‍නට වඩින්න පුලුවන්ද කියලා ‍
ඇහුවම හාමුදුරුවො කිව්වා "පුලුවනි පුතා මම එන්නම්.
මගේ තාත්තත් පිළිකාවකින් නැති උනේ. තාත්තත් නැතිවෙනකල් 
දැනගෙන හිටියෙ නෑ එයාට පිලිකාවක් කියලා. අපි කිව්වෙත් නෑ.
ඒත් අන්තිම කාලය දහමට වැඩියෙන් යොමුකරලා මම ජිවිත අවබෝ‍දය
ලබා දුන්නා. අපි එහෙම කරමු. මම එන්නම් අවුරුදු සතිය පහුවෙලා එන ‍
සෙනසුරාදා. සිකුරාදා හවසට ආයෙමත් මතක්කරන්නකො" කියලා 
හාමුදුරුවෝ කිව්වා. අම්මට කිව්වම අම්මට ගොඩාක් සතුටු හිතුනා.
අවුරුදු ඉවර වෙලා ඒක කරන්න ඕන..


අම්මගේ හැම ආ‍‍ශාවක්ම ඉටුකරන්න ඕන කොහොම හරි.

Wednesday, April 4, 2012

ආයුර්වේද පිළිකා පර්යේෂන ආයතනය


අද හවස අම්මව මහරගම  ආයුර්වේද පිළිකා පර්යේෂන ආයතනයට එක්ක ගියා.
තාත්තා පත්තරේ දැකලා පිළිකා සනීප කරන වෙද මහත්තයෙක් ඉන්නව
කියලා විස්තරෙ කිව්වා. මමත් කලින් ඒක දැක්ක. ඉංග්‍රිසි බෙහෙත් කරන නිසා උනන්දු උනේ නෑ. 


රෝද පුටුවෙ තියාගෙන එක්ක ගියා.. ඩොක්ටර් අම්මව බලල කිව්වා
ලෙඩාට එලියෙන් තියන්න කියලා අපිත් එක්ක කතා කලා.
අම්මව බලන වෙලාවෙ ආයුර්වේද දොස්තරලා 15ක් විතරම හිටියා.
ලොකුම දොස්තර තමා බැලුවේ. අනික් අයට අම්මගේ ‍රිපෝට් පෙන්නලා 
කිව්වා කකුලේ ඇට දිරන තරමට මේක පැතිරිලා. හරිම කලාතුරකින් එන 
පිළිකාවක් තමා. බෙහත් කරන්න බාරගන්න අමාරුයි. ඒත් මම බෙහෙත් කීපයක් දෙන්නම්
බීලා බලන්න. ඒත් බලාපොරොත්තු තියාගන්න එපා. ඉස්සරහට හොදට පරිස්සම් කරන්න.
ඉංග්‍රිසි බෙ‍ෙහත් දිගටම දෙන්න කියලා..


අපි හැමෝගෙම ඒ බලාපොරොත්තුවත් ඉවරයි..
හිතාගන්න බෑ..අම්ම නෙවී අපියි ගිය ආත්මෙ පව් කරලා ඇත්තෙ.
මෙතරම් දුක දරාගන්නෙ කොහොමද?